CEB | Knowledge Hub

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ඉතිහාසය

ලෝකයේ විදුලිබලයෙන් අලෝකමත්වූ පළමු නගරය ලෙසට ඉතිහාසගත වූයේ එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයයි. ඒ 1881 ජූනි මස 26 වැනිදායි. එසමයෙහි බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවේ කොළඹ වරායට 1882 වර්ෂයේදී යාත්‍රා කළා වූ එස්එස් හේලියෝස් (SS Helios) නම් නෞකාවේ ප්‍රථම වරට විදුලිබලය දැකගැනීමට අප රටට අවස්ථාව උදාවිය. 1890 වර්ශයේ ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම විදුලි බල්බය දල්වන ලද්දේය. ඒ කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරය තුළය. මේ හැරුණුවිට පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන යන ලද ඔවුන්ගේ වැවිලි වතුයායන් (plantation estates)වල ද විදුලිබලය භාවිතා වූ බවට සාක්ෂි ඇත.

1895 වර්ෂයේ බූස්ටඩ් සහෝදරයෝ ආයතනය විසින් කොළඹ දී ප්‍රථම වරට විදුලි සැපයුම සිදු කිරීම අරඹන ලද අතර ශ්‍රී ලංකාවේ විදුලිබල ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් විය. කලම්බො ඉලෙක්ට්‍රික් ට්‍රෑම් වේස් ඇන්ඩ් ලයිටින් සමාගම (CETLC) හා කැන්ඩි ලයිටින් සමාගම විසිවන සියවසේ මුල් දශකය තුළ ඔවුන් විසින්ම තම තමන්ගේ මෙහෙයුම් සඳහා අවශ්‍ය වූ විදුලිබල සැපයුම් සපුරාගන්නා ලද්දේය. ඉංජිනේරු ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහතා ඔහු විසින් සිදු කළ ගවේශන මගින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පැවති ජල විදුලිබල විභවය, එනම් ජල විදුලිබල ජනනයට ඇති හැකියාව හා ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ අනාගතයට එහි ඇති වැදගත්කම 1918 වර්ෂයේදී හඳුනාගත්තේය. එතුමන් පසුකාලීනව ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුවට කැපවී කටයුතු කළ පුරෝගාමියා බවට ද පත්විය.

දිනෙන් දින වර්ධනය වෙමින් පැවති විදුලි බල ඉල්ලුම සපුරාලීම උදෙසා 1926 වර්ෂයේදී පොදු වැඩ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා යටතේ විදුලිබල ක්ෂේත්‍රය සඳහා වෙන්වූ දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කරන ලදී. 1928 වර්ෂයේදී එවකට පැවති රජය විසින් තාපබල විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීමට තීරණය කරන ලද අතර එය ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි මහතාගේ නමින් නම් කරන ලදී.

1935 වර්ෂයේදී ද්විත්ව ස්ථර අය ක්‍රමයක් හඳුන්වා දුන් අතර, එම වර්ෂයේදීම විදුලිබල මණ්ඩල ආඥාපනත යටතේ ශ්‍රී ලංකාවේ විදුලිබල මණ්ඩලය නමින් මණ්ඩලයක් (Electricity Board of Ceylon) ස්ථාපිත කරන ලදී. කෙසේ නමුත් 1936 මාර්තු මස 01 වැනිදා සිට වැඩ ආරම්භ කරන ලද එම මණ්ඩලය 1937 මැයි මස වන විට විසිරුවාහරින ලද්දේ එහි සියළු වගකීම්, කාර්යයන් සහ බැඳීම් රජයේ විදුලිබල පවරාගැනීම් දෙපාර්තමේන්තුව (Department of Government Electrical Undertakings) වෙත පවරමිනි. 1950 වර්ෂයේදී ලක්ෂපාන විදුලි බලාගාරය ක්‍රියාත්මක කරන ලද අතර ඉන් අනතුරුව විදුලිබල ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවින.

1969 නොවැම්බර් මස 01 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය 1969 අංක 17 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කරන ලදී.

 

ඉංජිනේරු ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහතා

ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා ශ්‍රී ලංකාවේ ජල විදුලිබලයේ පියා වන්නේය.

ඩී.ජේ.විමලසුරේන්ද්‍රයන් උපත ලබන්නේ 1874 සැප්තැම්බර් මස 17 වැනිදාය. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලද අතර සියළුම විෂයන්හි කෙරේ ඉමහත් ප්‍රවීනතාවයක් දැක්වූයේ සම්මාන ද දිනාගනිමිනි. පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදීමට ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගය සමත්ව ගෞරව සම්මානිත සිසුවෙක් බවට පත්වූයේය. ඔහු ඩී.බී.ජයතිලක අනුස්මරණ සම්මානයෙන් ද පිදුම් ලද්දේය.

ආධුනික ඉංජිනේරුවරයෙකු ලෙස රජයේ කර්මාන්තශාලාවේ සේවයට එක්වූ විමලසුරේන්ද්‍රයන් කොළඹ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට ද ඇතුලත්වී  සිවිල් ඉංජිනේරු උපාධිය ලබාගත්තේ එම උපාධිය ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ද පත්වෙමිනි. අනතුරුව ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හදාරන ලද ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහතා පොදුවැඩ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු තනතුරට පත්විය. ඉන් පසුව දිස්ත්‍රික් ඉංජිනේරුවරයෙක් වශයෙන් ඔහුගෙන් දියතලාව, ගාල්ල, උඩුපුස්සැල්ලාව සහ නුවර යන ප්‍රදේශයන්ට ඔහු විසින් ඉතා ප්‍රශංසනීය සේවාවක් සිදු කරන ලද්දේය. පොදුවැඩ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ලෙස නැවත පත්වූ ඔහු වරෙක පොදුවැඩ දෙපාර්තමේන්තුවේම නියේාජ්‍ය අධ්‍යක්ෂක ධූරයට පත්වූයේ ය. එහිදී ඔහු විසින් කොළොන්නාව විදුලිබල බෙදාහැරීමේ පද්ධතිය ද නිර්මාණය කරන ලද්දේය. ඇබර්ඩීන් ජල විදුලිබල ක්‍රමය ඩී.ජේ.විමලසුරේන්ද්‍රයන් විසින් සැළසුම් කරන ලද නමුදු එවක ශ්‍රී ලංකාවේ පැවති බ්‍රිතාන්‍ය පාලනය එය යතාර්ථයක් කරගැනීමට අවහිරයක් විය.

1931 වර්ෂයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරඟ කරන ලදුව ජයග්‍රහනය කරන ලද ඩී.ජේ.විමලසුරේන්ද්‍රයන් ලක්ෂපාන ජල විදුලි බල ක්‍රමය දියත් කිරීම සඳහා මග පාදාගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1950 දී, 'ලක්ෂපාන ජල විදුලි බලාගාරය' ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලිබලාගාරය ලෙස මෙ.වො 25ක ධාරිතාවයකින් යුක්තව ආරම්භ කරන ලද්දේය.

රුවන්වැලි මහා සෑරදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරුණු සමයේ විමලසුරේන්ද්‍රයන් විසින් සෑරදුන්ගේ කොත් කැරැල්ල සහ ස්ථූපයේ ඉහළ කොටසේ නිර්මාණ කටයුතු සඳහා සැළසුම් සකස් කර දුන්නේය. එමෙන්ම බටහිර ජාතිකයින් බෞද්ධ දර්ශනය කෙරෙහි ප්‍රබෝධමත් කිරීමේ අරමුණින් ඒ මහතා විසින් බෞද්ධ ග්‍රන්ථ රැසක් ජර්මන් භාෂාවට පරිවර්තනය කරන ලද්දේය. සිය මව්බිමට, ජාතියට මෙන්ම ආගමටද එකසේ ඉමහත් සේවයක් කළ ඩී.ජේ.විමලසුරේන්ද්‍රයන් 1953 අගොස්තු මස 10 වැනිදා මෙලොව හැර ගියේය. ඔහුගේ අසමසම සේවාවට ගෞරවයක් වශයෙන් නෝර්ට්න් බ්‍රිජ් ජල විදුලිබලාගාරය 'ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය' නමින් නම් කරන ලද්දේය.

 

ලක්විජය විදුලිබලාගාරයේ විස්තර

ශ්‍රී ලංකාවේ ප්‍රථම ගල් අඟුරු බලාගාරයවන ලක්විජය විදුලි බලාගාරය පිහිටා ඇත්තේ පනයියාඩි ගම්මානය ආසන්නයේය. බලාගාරයට ලඟම නගරය වන පුත්තලම පිහිටා ඇත්තේ බලාගාරයේ සිට කිලෝමීටර 12ක් තරම් දුරකින්ය. ලක්විජය විදුලි බලාගාරය (මින් පසු ලක්විජය බලාගාරය ලෙස හඳුන්වනු ලබන) සැලසුම් කරන ලද්දේ බේස් ලෝඩ් බලාගාරයක් (base load power plant) එනම් නියමිත කාල පරිච්ඡේදයක් තුළ පද්ධතියට එන අවම බලශක්ති ඉල්ලුම නොකඩවා ජනනය කර දෙන බලාගාරයක් ලෙසය. බලාගාරය එහි වායු (විශේෂ) පරිවරණය කළ උප පොළ (gas insulated substation) මගින් ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇත. ඒ එම උප පොළෙහි කි.වො.220 ද්විත්ව රැහැන්  (two double circuit) සම්ප්‍රේෂණ මාර්ග දෙකක් මගින් නව හලාවත ජාල උපපොළ (GSS) සහ නව අනුරාධපුර ජාල උපපොළ(GSS) වෙත සම්බන්ධ කරමිනි.

ලක්විජය බලාගාරයේ ඉතිහාසය

මෙම බලාගාරය සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනය සිදුකරන ලදදේ 1998 වර්ෂයේදීය. මෙම ප්‍රදේශය රෝමානු කතෝලික සහ ඉස්ලාම් භක්තිකයන්ගෙන් යුක්ත මිශ්‍ර සංස්කෘතික ප්‍රජාවකින් යුක්තය. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තය හා ගොවිතැන් කිරීමය. ලක්විජය බලාගාරය එහි පළමු අදියරේ ඉදිකිරීම් 2006 මැයි මස ආරම්භ කරන ලදී. වැඩ අවසන් කළ බලාගාරයේ පළමු ඒකකය 2011 වර්ෂයේදී සිය වාණිජ මෙහෙයුම් ආරම්භ කරන ලදී. දෙවැනි අදියරේ ඉදිකිරීම් 2014 වර්ෂය වන විට අවසන් වූ අතර, ඒ අනුව බලාගාරයේ දෙවැනි සහ තෙවැනි ඒකක සිය වාණිජ මෙහෙයුම් පිළිවෙලින් 2014 අප්‍රේල් සහ ඔක්තෝබර් මාසයන්හීදී ආරම්භ කරන ලද්දේය.

ලක්විජය බලාගාරයේ විදුලි ජනන සාරාංශය - ජාලය වෙත යොමු කරන ලද ශුද්ධ බලශක්තිය (ගිවොපැ)

වර්ෂය

ඒකකය 01

ඒකකය 02

ඒකකය 03

එකතුව

2011

922.31

 

 

922.31

2012

1403.74

 

 

1403.74

2013

1469.37

 

 

1469.37

2014

1508.19

1224.93

469.05

3202.17

2015

917.97

1745.98

1793.33

4457.28

2016

729.99

2158.52

2158.08

5046.60

2017

1551.09

1864.45

1687.72

5103.26

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම ගල් අඟුරු බලාගාරය වූ මෙම ව්‍යාපෘතියට විශාල මහජන අවධානයක් යොමුවූයේ එය අප රටට නවමු අත්දැකීමක් වූ හෙයිනි.  ගල්අඟුරු බලශක්ති ප්‍රභවයන් ලොව වෙනත් රටවල භාවිතයේ පැවති නමුදු එය ශ්‍රී ලංකාවේ මාධ්‍යවලට සහ දේශපාලනඥයින්ට නව මාතෘකාවක් විය. ගල් අඟුරු බලාගාරයන්ගෙන් ඇති වන අහිතකර බලපෑම් පිළිබඳ කටකතා බොහොමයක් පැතිරුණු අතර එමගින් ව්‍යාපෘතියට විරෝධයපෑමට ජනතාව පෙළඹීමට ලක්විය. අවසානයේ මෙම සිදුවීම් නිසා ශ්‍රී ලංකාවේ විශාලතම ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම වසර ගණනාවකින් ප්‍රමාදයට ලක්විය. එනමුත් නොකඩවා රටේ විදුලිබල ඉල්ලුමට - සැපයුම ලබාදීම සිදු කළ යුතු හෙයින් ගල් අඟුරු මගින් විදුලිය නිපදවීමේදී වැය වන මුදලට වඩා වැඩි වියදමක් දරමින් පුද්ගලික අංශයෙන් විදුලි බලය මිලදී ගැනීමට සිදුවිය. එමගින් රටට බිලියන ගණනක මූල්‍ය පාඩුවක් සිදුවිය.

බලාගාරයට ප්‍රස්තාවනාවක්  

ලක්විජය බලාගාරය සිය ප්‍රධාන ඉන්ධනය ලෙස භාවිතා කරනු ලබන්නේ බිටුමිනස් ගල් අඟුරු වේ. බිටුමිනස් ගල් අඟුරු හෝ කළු ගල් අඟුරු ලෙස හඳුන්වන්නේ බිටුමන් නැමැති තාර වැනි ද්‍රව්‍යයක් අඩංගු, සාපේක්ෂව මෘදු ගල් අඟුරු වර්ගයකි. එය ලිග්නයිට් ගල් අඟුරුවලට වඩා තත්ත්වයෙන් උසස් ගල් අඟුරු වර්ගයක් වන නමමුත් ඇන්ත්‍රසයිට් ගල් අඟුරුවලට වඩා ගුණාත්මක භාවයෙන් අඩුවේ. මෙම ගල් අඟුරු නිර්මාණය වෙන්නේ ලිග්නයිට් ගල් අඟුරු මත අධික පීඩනයක් පැවතීමේ ප්‍රථිඵලයක් ලෙසය. මෙහි වර්ණය කළු හෝ අතැම් විට තද දුඹුරු විය හැක. බිටුමිනස් ගල් අඟුරුවල 77-87% අතර ප්‍රතිශතයක කාබන් අන්තර්ගත වන අතර, ඇන්ත්‍රසයිට් ගල් අඟුරුවල 87%ට වඩා කාබන් අන්තර්ගත වේ. කෙසේ නමුත් බිටුමිනස් ගල් අඟුරු ඇන්ත්‍රසයිට් ගල් අඟුරුවලට වඩා බහුල වේ.

ගල් අඟුරු නිර්මාණය වීමේ අවස්ථාවන්

මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් බිටුමිනස් ගල් අඟුරු මිලදී ගැනීම ලංකා කෝල් සමාගම විසින් සිදු කරනු ලබයි.

සාමාන්‍යයෙන් ගල් අඟුරු ආනයනය සිදු කෙරෙන්නේ ඉන්දුනීසියාවෙන්, රුසියාවෙන් හෝ දකුණු අප්‍රිකාවෙන්ය. එසේ ගෙන එනු ලබන ගල් අඟුරු බොයිලේරුවක් තුල දහනය කරනු ලබන අතර එමගින් ජනනය වන තාප බලශක්තිය භාවිත කරමින් ඌෂ්මකය වටා දිවෙන විසල් ජල නාලයන් වල ඇති ජලයෙන් සෙල්සියස් අංශක 538 (538 °C) ක උෂ්ණත්වයකින් හා මෙගාපැස්කල් 16.7 (16.7 MPa) ක පීඩනයකින් යුක්ත වන ජල වාෂ්ප නිපදවීම සිදු කෙරෙයි. අනතුරුව එම වාෂ්පවල ශක්තිය වාෂ්ප ටර්බයිනවල තල වෙත යොමු කෙරෙන අතර ඒවා ක්‍රියාත්මක වෙමින් බ්‍රමකය මිනිත්තුවකට වට 3,000ක (3,000 rpm) වේගයකින් කැරකීමට ලක් කරයි. එම ටර්බයින් බ්‍රමකයට සම්බන්ධව ඇති කිවො 20 ජනක යන්ත්‍රය එමගින් මෙවො 300ක විදුලි බලයක් උත්පාදනය කරනු ලබයි. අනතුරුව එම විදුලි බලය කිවො 220 (220kV) ද්විත්ව රැහැන් සම්ප්‍රේෂණ මාර්ග දෙකක් මගින් ජාතික පද්ධතිය වෙත යොමු කෙරේ