CEB

ඉල්ලුම් පාර්ශවය කළමනාකරණය කිරීම (DSM) යනු කුමක් ද?

ඉල්ලුම් පාර්ශවය කළමනාකරණය කිරීම (DSM) යනු කුමක් ද?

ඉල්ලුම් පාර්ශවය කළමනාකරණය කිරීම (DSM) යන්නෙන් "පාරිභෝගිකයා විදුලිය භාවිතා කරන ප්‍රමාණය සහ/හෝ වේලාව වෙනස් කිරීම සඳහා සැළසුම් කරන ලද්දා වූ පද්ධතික උපයෝගීතා ක්‍රියාකාරකම් සහ/හෝ රාජ්‍ය ක්‍රියාකාරකම්" යන ක්‍රියාකාරකම් ආවරණය වේ. එමගින් සමාජයට, උපයෝගීතා සැපයුම්කරුට සහ පාරිභෝගිකයින්ට සාමූහික වශයෙන් යහපත සැළසීම අරමුණු කෙරේ.

එනිසා 'ඉල්ලුම් පාර්ශවය කළමනා කිරීම (DSM)' යනු තනි කාරණාවක් ආවරණය කිරීම සඳහා භාවිතා කරන යෙදුමක් නොව, ප්‍රවර්ග රැසක කාරණා ආවරණය කිරීම සඳහා භාවිතා කරනා යෙදුමකි. එය එකිනෙකට වෙනස් බැරයේ ආකාරය හැසිරවීමේ අරමුණු (Load shape objectives) කිහිපයක් ද, බැර කළමනාකරණය (Load Management - LM) ද, බලශක්ති සංරක්ෂණය හා කාර්යක්ෂම භාවිතය (EE) හා විදුලියනය (electrification) යන කරුණු ද ඇතුළත් පුළුල් පරාසයක් අවරණය කරන යෙදුමකි.

(බැර පැතිකඩයන් (Load profiles) යනු යම් කාල පරාසයක් තුළ, සේවා කලාපයක පාරිභෝගිකයින්ගේ විදුලි පරිභෝජනය වෙනස්වීම (විචලනය) වන ආකාරය අනුව එම ජාලයේ පවතින විදුලි ප්‍රමාණය නොහොත් ජාලය බැර ගන්වා ඇති ප්‍රමාණය නිරූපණය කෙරෙන්නා වූ ප්‍රස්ථාරයන්ය)


අරමුණු

ඉල්ලුම් පාර්ශවය කළමනාකරණය කිරීමෙහි (DSMහි) අරමුණු "ආයතනික, බැර ආකාර හැසිරවීම් " සහ "බැර ආකාර හැසිරවීම් නොවන" ලෙස සාමාන්‍යයෙන් ප්‍රවර්ග දෙකකට බෙදෙන අතර ඒවා පහත විස්තර කරනු ලැබ ඇත.


ආයතනික අරමුණු

ආයතනික අරමුණු

සිය මෙහෙවර සාක්ෂාත් කරගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මෙහෙයුම් සහ කළමනාකරණ අරමුණු සකස් කර ඇත. එම අරමුණුවලට තම විදුලිබල සැපයුමේ ගුණාත්මකභාවය සහ අඛණ්ඩභාවය වඩාත් යහපත්බවට පත්කරගැනීම, විදුලිය වංචනිකව භාවිතා කිරීම හැකිතාක් අවම කිරීම, පද්ධති ක්ෂයවීම් අවම කරගැනීම, බෙදාහැරීමේ ජාලය වැඩිදියුණු කිරීම, උපපොළවල් වැඩිදියුණු කිරීම, ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම, පාරිභෝගික සේවා වඩාත් යහපත් බවට පත්කර ගැනීම ආදිය ඇතුළත් වේ.

හැඩයේ අරමුණු පූරණය කරන්න

බැරයේ ආකාරය හැසිරවීමේ අරමුණු

නියත වශයෙන්ම, ඉල්ලුම් පාර්ශවය කළමනාකරණය (DSM) ප්‍රධානවශයෙන් සලකනු ලැබෙන්නේ සැපයුම්-පාර්ශවයේ පවතින විකල්ප වලට වඩා මූල්‍ය වශයෙන් ඵලදායී විකල්පයක් ලෙසින්ය. එහෙයින් ඉදිරිපත් වන ඕනෑම ඉල්ලුම් පාර්ශව කළමනාකරණ (DSM) වැඩසටහනක් පිළිබඳ සළකා බැලීමේදී එමගින් ලංකා විදුලිබල මණ්ඩලයේ බැර හැඩගැස්වීමේ අරමුණු (Load shape objectives) කෙතරම් දුරට සපිරෙන්නේද යන්න අන් සියළුම කරුණුවලට වඩා ප්‍රධානව සලකා බැලෙන්නේය. සැපයුම් පාර්ශවයේ පවතින විකල්ප මෙන්ම, ඉල්ලුම් පාර්ශව කළමනාකරණ විකල්ප ද සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ පහත සඳහන් කර ඇති ලෝඩ් ෂේප් අරමුණුවලටය.

ඉහළම විදුලි ඉල්ලුම කප්පාදු කිරීම (Peak Clipping)

ප්‍රධාන වශයෙන් අධික විදුලි ඉල්ලුමක් පවතින කාල පරාසයන් තුළ පද්ධතියේ බැරය (utility load) පහත හෙළීමට පියවර ගැනීම. මෙහිදී බොහෝ විට අඛණ්ඩ විදුලි සැපයුමක් අත්‍යාවශ්‍ය පාරිභෝගික ප්‍රවර්ගයන්වලට බලනොපාන පරිදි ‍සේවා කලාපවල විදුලි සැපයුම අත්හිටුවීමට කටයුතු කිරීම සිදු වෙයි. 


නිම්නය පිරවුම (Valley-Filling)

අධික විදුලි ඉල්ලුමක් නොපවතින කාලසීමාවන්වල පද්ධතියේ බැර නැංවීමට පියවර ගැනීම මගින් බැර සාධකය (Load Factor) වඩාත් යහපත් මට්ටමකට ගෙන ඒම.

විදුලි ඉල්ලුම අඩු කාලසීමාවන්වල (off-peak) ඊට සමානුපාතව සැපයුම ද අඩු කිරීමට සිදු වෙන නිසා එම වේලාවන් අතරතුරදී අක්‍රිය කෙරෙන බලාගාර අතර පවතින අඩු වියදමකින් විදුලිය උත්පාදනය කළ හැකි බලාගාර වල ජනන ධාරිතාවය අරමුණු කරගනිමින් විදුලි බැර නැංවීමට කටයුතු කිරීම මෙහිදී සිදු වෙයි. උදාහරණයක් ලෙස මෙම අරමුණ සඳහා විදුලි මෝටර් රථ ආරෝපණය යන කරුණ ඉලක්ක කළ හැකිය.


බැර විතැන් කිරීම (Load Shifting)

අධික විදුලි ඉල්ලුමක් පවතින කාල පරාසයන් තුළ පද්ධතියේ බැර (utility loads) පහත හෙළීමට පියවර ගන්නා අතරතුරදීම, අධික විදුලි ඉල්ලුමක් නොපවතින කාලපාරසයන් වල පද්ධතියේ බැරය (utility load) ඉහළ නැංවීමට පියවර ගැනීම. බර විතැන් කිරීම (load shifting) මගින් සාමාන්‍යයෙන් විදුලිබල අලෙවියට සැලකියයුතු වෙනසක් ඇති කිරීමට හේතු වන්නේ නැත.

 

මේ සඳහා බොහෝ විට කාල පාදක අය ක්‍රම (Time Of Use rates/TOU tariffs) භාවිත වන අතර, එමගින් අධික විදුලි ඉල්ලුමක් නොමැති කාල පරාසයන් තුළ සම්ප්‍රදායික විදුලි උපකරණ භාවිතයට පාරිභෝගිකයින් යොමුවීම සිදු වේ.


උපායමාර්ගික සංරක්ෂණය (Strategic Conservation)

විදුලිය පරිභෝජනයේදී බලශක්ති සංරක්ෂණයට හා කාර්යක්ෂම භාවිතය සහතික කිරීම මගින්, අඩු වැඩි වශයෙන් සමසේ දවසේ සියළුම පැයවල හෝ බහුතර පැය ගණනක පද්ධති බැර (utility load) පහත හෙලීමට පියවර ගැනීම.


උපායමාර්ගික බැර නැංවීම

වැඩි හෝ අඩු වශයෙන් සමානව දවසේ පැය සියළුම පැයවල හෝ බහුතර පැය ගණනක සේවා පද්ධති බැර නැංවීම.

මෙහිදී සමස්ථ විදුලි අලෙවියේ (overall sales) වැඩිවීම සිදුවෙයි. මෙහිදී ප්‍රධාන වශයෙන් අධික විදුලි ඉල්ලුමක් පවතින කාල සීමාවන් තුළ පවතින විදුලි ඉල්ලුම (peak demand) සහ සමස්ථ බලශක්ති පරිභෝජනය (total energy consumption) යන දෙකම වැඩි වන්නේය. මෙය සාමාන්‍යයෙන් බලශක්ති තීව්‍රතාවය වර්ධනය මගින් සහ/හෝ නව පාරිභෝගිකයින් එක් කරගැනීම මගින් සිදුකෙරේ.


වඩාත් නම්‍යශීලී බැර ආකාරය හැසිරවීමේ ක්‍රමවේදයක් සැලසීම

සැපයුම අත්හිටුවිය හැකි/සීමා කළ හැකි ලෙස එළඹෙන සේවා ගිවිසුම්වලදී මෙන් අවශ්‍යතාවය පැණනගින විටදී සේවා සැපයුම්කරුට පාරිභෝගිකයින්ගේ විදුලි පරිභෝජනය වෙනස් කිරීමට විකල්ප ලැබෙන වැඩසටහන්වලට යොමු වීම.

මෙම ක්‍රමයේදී යම් විශේෂ පාරිභෝගික ප්‍රවර්ගයක හෝ කිහිපයක විදුලි බැර අත්හිටුවීමට සේවා සැපයුම්‍කරුට අවසර ලැබෙන්නේය. ඒ සඳහා එම විශේෂ ප්‍රවර්ගයට අයත් පාරිභෝගිකයින් ගිවිසුම ප්‍රකාරව එකඟ වී සිටිති. මෙම නම්‍යශීලී බැර ආකාරය හැසිරවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී බොහෝ විට සැපයුම අත්හිටුවිය හැකි/සීමා කළ හැකි අය ක්‍රම හඳුන්වා දීම සිදු කෙරේ.