CEB | FAQ

නිතර අසන ප්‍රශ්න


විදුලිබල උත්පාදනය

ඇත්ත වශයෙන්ම ඔබ විදුලි බලාගාරයකට ලඟින්ම පදිංචිව සිටින්නෙකු වූව ද මෙම පැණයට බොහෝ විට ඔබ බලාපොරොත්තු වන අන්දමේ පිළිතුරක් ලබා දිය නොහැකිය. මෙය විශාල මෝයක් අසල මුහුදකින් ජලය බාල්දියක් ගෙන බාල්දියේ ඇති ජලය කුමන ගංගාවෙන් පැමිණියේ දැයි සිතීමට සමානය.

 

මෙම ගැටළුව තවදුරටත් අවබෝධ කරගැනීම සඳහා ජාතික විදුලිබල පද්ධතිය ක්‍රියාත්මක වන අකාරය පැහැදිලි කරගැනීම උදව් වනු ඇත. ඔබ වෙත විදුලිය සැපයීමට දායක වන්නාවූ විදුලි බලස්ථාන සියල්ලම ජනනය කරන විදුලිය යොමු කරනු ලබන්නේ එකිනෙකට සම්බන්ධ (අන්තර්සම්බන්ධ) දැලක් බඳු ව්‍යූහයකටය. අප එය හඳුන්වනු ලබන්නේ 'බලශක්ති ජාලය' (power grid) ලෙසය. එම බලශක්ති ජාලයේ පවතින අන්තර්සම්බන්ධතා සැකසී ඇත්තේ කිවො 220 හෝ 132 කිවො අධි සැර විදුලි සම්ප්‍රේශණ මාර්ග මගින්ය. එම සම්ප්‍රේශණ මාර්ග රටේ පවතින සෑම විදුලි බලාගාරයක්ම සම්බන්ධ වී ඇත්තේය. (අන්තර්සම්බන්ධතාවන් ලෙස මෙහි හඳුන්වනු ලබන්නේ ඔබ අප සැම ගමනා ගමනයේදී විවිධ ප්‍රදේශවල දැක ඇති විශාල හා උස වානේ කුළුණු රැහැන්ය)

 

එකිනෙකට සම්බන්ධව පවතින මෙම ජාලයේ ඇතැම් ස්ථානයන්වල 'ජාල උපපොලවල්' (grid substations) ලෙස අප විසින් හඳුන්වනු ලබන නෝඩු (nodes) ඇත. ඒවා මගින් ජාලයේ පවතින අධිසැර විදුලිබලය ලබාගෙන ඔබට භාවිත කළ හැකි මට්ටමේ අඩු වෝල්ටීයතාවයට පරිවර්තනය කර ඔබ සැමගේ නිවාසයන් වෙත බෙදාහරිනු ලබන්නේය. මෙහි අධිසැර විදුලිබලය අඩුසැර විදුලිබලයට පරිවර්තනය කිරීමේ කටයුත්ත ද පියවර කිහිපයකින් සිදුවන ක්‍රියාවලියකි.

 

මේ අයුරින් ජාතික බලශක්ති ජාලයට සම්බන්ධව ඇති සියළු විදුලිබලාගාර එකිනෙකට අන්තර්සම්බන්ධිත හෙයින් ඔබ වෙත විදුලිය ලැබෙන්නේ කුමන විදුලි බලාගාරයෙන්ද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකිය. කෙසේ නමුත් මෝයක් අසල මුහුදකින් ජලය බාල්දියක් ගැනීම පිළිබඳ උදාහරණයේදී මෙන්ම, ඔබ විදුලි බලාගාරයක් අසල පදිංචිව සිටින්නෙක් නම් ඔබ නිවහන වෙත ගලා එන්නා වූ විදුලි සැපයුමෙන් වැඩි කොටසක් අසල පවතින එම විදුලි බලාගාරයෙන් ලැබෙනවා විය හැකි බවට අපට පැවසිය හැකිය.


විදුලිබල සම්ප්‍රේෂණය

අප සැම මූලික විද්‍යාවෙන්ම උගන්නා පරිදි විදුලිය යනු බලශක්තියේ එක් ස්වරූපයකි. එය නිර්මාණය කිරීමට හෝ විනාශ කිරීමට නොහැකිය. තවද, විදුලිය ප්‍රත්‍යාවර්තන ධාරා (AC)  ස්වරූපයෙන් විදුලිය ගබඩාකර තබාගැනීමටද හැකියාවක් නොමැත. ඒ ආකාරයෙන් විදුලිය ගබඩාකර තබාගැනීමට ඇති නුපුළුවන්කම නිසා යම් කාල සීමාවක් තුළ විදුලි පාරිභෝගිකයෙකු යම් බලශක්ති ප්‍රමාණයක් ඉල්ලුම් කරන්නේ ද, අප හට එම බලශක්තිය තත්‍යකාලීනව (realtime) ජනනය කර ලබා දීමට සිදුවේ. වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් අප විසින් විදුලි බලශක්ති සැපයුම සහ ඉල්ලුම (supply & demand) යන දෙක සෑම විටම තත්‍යකාලීනව (realtime) සමානව පවත්වාගත යුතු වෙයි.

මෙම සමබර කිරීමේ කටයුත්ත සිදුකෙරෙන්නේ විදුලිබල සැපයුමේ සංඛ්‍යාතය (frequency) මගපෙන්වීමක් ලෙස ගනිමිනි. (අප රටේ 50Hz වේ) උදාහරණයක් ලෙස, ඔබ වැනි පාරිභෝගිකයින් විසින් තත්පරයක කාල පරාසයක් තුළ, මෙගා ජූල් 1,000 බලශක්තියක් (1,000MJ) පද්ධතියෙන් ඉල්ලුම් කර සිටින්නේ ද, (තත්පරයකදී 1,000MJ ඉල්ලුම 1,000MWට සමානය), ලංවිම විසින් නිශ්චිතවම මෙ.වො. 1,000ක විදුලිබලයක් තත්‍යකාලීනව (realtime) පද්ධතියට සැපයිය යුතු වේ. අප විසින් ඒ අයුරින් පාරිභෝගිකයින්ගේ ඉල්ලුමට සමාන සැපයුමක් ලබා දෙන විටදී විදුලිබල සැපයුමේ සංඛ්‍යාතය සමබරව පවතී (අප රටේ 50Hz). යම් හෙයකින් ඔබගේ ඉල්ලුමට වඩා අපගේ සැපයුම අඩු මට්ටමක පවතින්නේ නම්, සංඛ්‍යාතය 50Hz මට්ටමින් පහතට වැටෙයි. ඒ අයුරින්ම ඔබගේ ඉල්ලුමට වඩා අප විසින් විදුලිබල සැපයීමක් සිදු කළහොත් සංඛ්‍යාතය 50Hz වලට වඩා ඉහල යනු ඇත.

ඇතැම් හදිසි අවස්ථාවන්වලදී අපගේ විදුලිබලාගාර ස්වයංක්‍රීයව විසන්ධිවීමට හෝ ක්‍රියා විරහිත වීමට ලක් වේ (getting tripped). උදාහරණයක් ලෙස පාරිභෝගික විදුලි ඉල්ලුම මෙ.වො.1000ක ප්‍රමාණයක පවතින මොහොතක ඒ ආකාරයෙන් විශාල ධාරිතාවයක් සපයනු ලබන බලාගාරයක් (මෙ.වො. 100ක් යැයි සිතමු) හදිසියේ අක්‍රිය වුවහොත්, පෙර කී සැපයුම්- ඉල්ලුම් සමබරතාවය පවත්වාගැනීමේ ක්‍රියාවලියට බාධාවක් ඇති වෙයි. දැන් පාරිභෝගිකයින්‍ගේ ඉල්ලුම මෙ.වො. 1,000ක් වන නමුත් අපගේ සැපයුම පවතින්නේ මෙ.වො. 900කය. එහි ප්‍රථිඵලයක් ලෙස විදුලිබල සැපයුමේ සංඛ්‍යාතය නියමිත මට්ටමින් පහතට වැටේ. (එසේ සිදුවන්නේ කෙසේ ද? එවන් අවස්ථාවක සැපයුම්-ඉල්ලුම් සමබරව පවත්වාගන්නේ කවුද වැනි  කරුණු මෙම සරළ පිළිතුරට වඩා ඈතට යන කරුණුය) එවිට පද්ධතිය මෙහෙයවමින් සිටින ඉංජිනේරුවන් හට ඉතා ඉක්මනින් ක්‍රියාත්මකවී හිඟ මෙ.ව‍ො.100ක බලශක්තිය වහා සැපයීමට කටයුතු කිරීමට සිදුවේ. කෙසේ නමුත්, ඒ සඳහා යම් කාලයක් ගත වේ. නැවත සැපයුම්-ඉල්ලුම් සමබර කරනතුරු විදුලිබල සැපයුමේ සංඛ්‍යාතය හර්ට්ස් 50ට මට්ටමින් පහතට වැටේ.

විදුලි බලාගාර ගත් කළ ඒ ඒ බලාගාරවලට නියමිත සංඛ්‍යාතයන් පවතින අතර, එම සංඛ්‍යාතයන්ට අඩු මට්ටමකින් පද්ධතිය පවතින විටකදී ක්‍රියාත්මක වීම එම බලාගාරවල පැවැත්මට හානිකරය. උදාහරණයක් ලෙස අප රටේ පද්ධතියට සම්බන්ධ කර ඇති විදුලි බලාගාර බොහොමයකට 42Hz මට්ටමට අඩුවෙන් ක්‍රියා කිරීමට නොහැකිය. එහෙයින් අඩු ‍සංඛ්‍යාතයක පද්ධතිය පැවතීමට ඉඩහැරියහොත් යම් වේලාවකට පසු පවතින අනෙකුත් බලාගාර ද අක්‍රිය වීමට පටන්ගන්නා අතර එමගින් විදුලි හිඟය තව තවත් උග්‍ර වේ. මෙසේ කොටසක් අක්‍රියවීම හේතුකොටගනිමින් මුළු පද්ධතියම බිඳ වැටෙන තත්ත්වයක් දක්වා වුවද වර්ධනය විය හැකිය.

කෙසේ නමුත්, බාධාකාරී තත්ත්වයන් උද්ගත වන විට සැපයුම-ඉල්ලුම යථා තත්ත්වයට පත් කර ගැනීමට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන නිවැරදි කිරීම් ක්‍රියාමාර්ග මෙන්ම, පද්ධතිය මෙහෙයවන්නන් අතින් සිදුකෙරෙන්නා වූ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ද පවතින හෙයින් සෑම බලාගාර බිඳවැටුමක් හෝ විසන්ධිවීමක්ම සමස්ථ පද්ධති බිඳ වැටීමක් බවට පත් වන්නේ නැත.


විදුලිබල පරිභෝජනය

දවසේ අධික විදුලි ඉල්ලුමක් පවතින වේලාව තුළ (peak) ඉතිරි කරන විදුලි ඒකකයකට අනෙකුත් වේලාවල ඉතිරි කරන විදුලි ඒකකයට වැඩි ඉතිරියක් සිදුකළ හැකිය. අප 'නිතර අසනු ලබන ප්‍රශ්ණ' අංක 02 හි විස්තර කළ පරිදි 24 පැය පුරාම - සතියේ දින 7 පුරාවටම විදුලි පාරිභෝගිකයින්ගේ ඉල්ලුමට සැපයුම අඩුවැඩියකින් තොරව පවත්වාගෙන යෑමට ලංවිමට සිදුවේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම රාත්‍රියේ සහ පාන්දර කාලය තුළ විදුලිබල ඉල්ලුම ඉතාම අඩු මට්ටමක පවතී. බොහෝ විට පාන්දර 2.00 පමණ වන විට දවසේ අඩුම අගය වාර්තා කළ හැකිය. කෙසේ නමුත් දිවා කාලය ගත් කළ, සාමාන්‍යයෙන් රාත්‍රී 7.00 පමණ වන විට දවසේ ශ්‍රී ලංකාවේ දෛනික විදුලිබල ඉල්ලුම උපරිම අගයට ලඟා වෙයි. මෙය 'රාත්‍රි කාලයේ අධික ඉල්ලුම' (night peak) නමින් හැඳින්වෙයි.

පාරිභෝගිකයින්ගේ විදුලි ඉල්ලුමට අනුව විටින් විට විදුලි ජනනය වෙනස් කරමින්, මෙගාවොටයෙන් මෙගාවොටයට පාරිභෝගික ඉල්ලුම හා සමාන වන විදුලිබල සැපයුමක් පවත්වා ගැනීමට ලංවිමට සිදු වෙයි. මෙහිදී අලුයම් කාලය සහ දිවා කාලය යනු  ලංවිමට පද්ධතියේ පවතින විවිධාකාර වූ විදුලි ජනන ක්‍රම රැසක් අතුරින් සුදුසුම, ලාභදායීම ක්‍රමවේද තෝරාගනිමින් විදුලි උත්පාදනය  කිරීමට හැකි කාලයයි. එයට හේතුව දහවල් කාලයේ රටෙහි විදුලි ඉල්ලුම ලංවිම ඒකාබද්ධ ජනන ධාරිතාවයට, එනම් ස්ථාපිත ධාරිතාවයට (installed capacity) අඩු අගයක් ගන්නා නිසාය. මේ හේතුවෙන්, එම කාලය තුළ ලංවිමට මිල අධික බලාගාර වෙනුවට ලාභදායීම බලාගාරයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීමට සුදුසු පරිදි තෝරාගත හැකිවන්නේය. ලංවිම විදුලිය ලබාගැනීම ආරම්භ කරන්නේ මිල අඩුම ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කරන බලාගාරවලින්ය. විදුලි ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් වැඩි වන විට ක්‍රමිකව අඩු වියදමේ සිට වැඩි වියදම් බලාගාර වෙත පිළිවෙලින් යොමු වීම සිදු වේ. මෙම සංකල්පය හඳුන්වන්නේ Merit Order Dispatch ලෙසය. ඉල්ලුම අඩුවන විට මෙම ක්‍රියාවලියම අනෙක් අතට (reverse) සිදු කෙරේ. එනම් ඉල්ලුම අඩු වන විට වැඩිම වියදම් සහිත බලාගාරවලින් විදුලි ජනනය ක්‍රමයෙන් අඩු කිරීමට කටයුතු ක‍රනු ලැබෙයි.

රාත්‍රී කාලයේ අධික විදුලි ඉල්ලුම පවතින විට ලංවිම‍ට තමන් සතු වැඩි වියදම් ගෑස් ටර්බයින ඒකක ද (Gas Turbine Units) ඇතුළුව ජනක යන්ත්‍ර සියල්ලම පාහේ ක්‍රියාත්මක කිරීමට සිදුවේ. මෙහි වියදම් අතර වෙනස කෙතරම් ද යත් ගෑස් ටර්බයිනයකින් විදුලි ඒකකයක් ජනනය කිරීමට යන වියදම ගල් අඟුරු බලාගාරයකින් විදුලි ඒකකයක් ජනනය කිරීමට වැය වන මුදල මෙන් දස ගුණයක් පමණ විය හැකිය. මේ නිසා ඔබ රාත්‍රී කාලයේ අත්‍යාවශ්‍ය නොවන විදුලි බල්බයක් නිවා දමන විට ඒ මොහොතේ ක්‍රියාත්මකව පවතින මිල අධිකම විදුලි බලාගාරයකින් සිදුකරන විදුලි ජනනය අඩුකිරීමට ලංවිමට හැකිවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස රාත්‍රී කාලයේ පාරිභෝගික ඔබ විසින් අප හට ඉතිරි කර දෙන විදුලි ඒකකයක් මගින් රටට ඉතිරි කර දෙන මුදල දවසේ අනෙක් කාලයන් වල ඉතිරිකරන විදුලි ඒකකයකින් ඉතිරි කරන මුදලට වඩා වැඩි වෙයි.

රාත්‍රී කාලයේ අධික විදුලි ඉල්ලුමට දායක වීමෙන් වළකින ලෙස ලංවිම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටීමට තවත් හේතුවක් ඇත. රාත්‍රී කාලයේ පවතින අධික විදුලිබල ඉල්ලුම හමුවේ  ලංවිම විසින් ක්‍රියාත්මක කරන්නට යෙදෙන විදුලි ජනන ඒකක හඳුන්වන්නේ 'සැපයුම ඉහළ දැමීමේ ඒකක' (peaking units) ලෙසය. ඒවා ක්‍රියාත්මක කරන්නේ දවසට පැය කිහිපයක් පමණක් වන අතර දවසේ අනෙක් කාලය පුරාවටම වසා දමා තිබෙන්නේය. මෙය එක්තරා අන්දමකට නොකම් (idle) ආයෝජනයක් වන්නේ එම නිසාය. පාරිභෝගිකයින් හට රාත්‍රී කාලයේ අධික විදුලි ඉල්ලුම පවතින කාලය තුළ විදුලි පරිභෝජනය අඩු කිරීමට හැකි නම් එය අධික වියදමක් දැරීමට සිදු වන විදුලි ජනක යන්ත්‍රයක් නැවතීමට පමණක් නොව අනාගතයේ තවත් 'සැපයුම ඉහළ දැමීමේ ඒකක'යක් සඳහා කිරීමට සිදුවන ආයෝජනයෙන් වැළකීමට උදව්වක් ද වන්නේය.

අප විදුලි ශක්ති පරිභෝජනය මැනීමට ඒකකයක් ලෙස භාවිතා කරන්නේ කිලෝ වොට් පැය නොහොත් කිවොපැ(kWh)ය. වොට්ස්(Watts) යනු ක්ෂමතාව මැනීමේ ඒකකයි. kWh යනු බලශක්ති මිනුම් ඒකක වන ජූල් (J) ආකාරයේම මිනුම් ඒකකයකි. කිලෝ වොට් (kW) 1ක් වොට්ස් (W) 1,000ක් වන අතර, කිලෝ වොට් පැය (kWh) 1ක් යනු වොට් පැය (kWh) 1,000ක් වෙයි. කිලෝ වොට් පැය 1ක් (1 kWh) යනු කුමක් ද යන්න සරළව පැහැදිලි කරන්නේ නම්, 1kWh යනු වොට් 1,000ක් පරිභෝජනය කරන විදුලි මෙවලමක් පුරා පැයක් නොකඩවා ක්‍රියාත්මක කළ විට වැයවන ශක්ති ප්‍රමාණයයි.

බලශක්තිය හා ශක්තිය අතර පවතින්නා වූ වෙන තේරුම් ගැනීම සඳහා පහත සඳහන් සාදෘශ්‍යය (සංසන්දනාත්මක විග්‍රහය) උදව් වෙනු ඇත.

වතුර ලීටර 10,000කින් යුක්ත ජල ටැංකියක් සිහියට නගාගන්න. එයින් ජලය ලබා ගැනීම සඳහා අවශ්‍ය පමණට ජල ධාරාව අඩු වැඩි කළ හැකි කරාමයක් සවි කර ඇත්තේ යැයිද, එම කරාමය සම්පූර්ණයෙන්ම විවෘත කළහොත්, එහි උපරිම වේගයෙන් තත්පරයකට ලීටර 1ක තරම් ඉහළ සීඝතාවයකින් යුක්ත ජල ධාරාවක් ලබාගත හැකි යැයි ද සිතන්න. මෙම ටැංකියේ ලීටරවලින් ගබඩා කර ඇති ජලධාරිතාවය කිවොපැ (kWh) බඳු වන්නේය. කරාමය හරහා ජලය කොපමණ වේගයකින් පිටතට ගන්නේ ද යන කාරණාව (තත්ත්පරයකට ලීටර කීයක වේගයෙන් ලබා ගන්නේද යන වග) ක්ෂමතාවයට (කි.වො ට) සමාන වන්නේය.

මෙම කරාමය පුරා පැයක් විවෘතව තැබුවහොත් ඉවතට යන ජලය ප්‍රමාණය මෙන් කිවො 1ක ක්ෂමතාවයක් ඇති විදුලි මෙවලමක්  පුරා පැයක් ක්‍රියාත්මක කළහොත් අප කිවොපැ 1ක බලශක්තියක් භාවිත කරන්නේය. අපට වැඩි ධාරිතාවයකින් යුතු ටැංකියක් (විදුලි බලාගාරයක්) ඇත්තේ නම්, වැඩි පාරිභෝගකියින් පිරිසකට භාවිත කිරීම සඳහා වැඩි ජල ධාරාවක්(විදුලියක්) ලබා දිය හැකි වන්නේ ය. ඇත්ත වශයෙන්ම මෙහිදී ඔවුන් භාවිතා කරනු ලබන ජලයට මිනුම් දණ්ඩ වන්නේ ලීටර කීයක් භාවිත කළේ ද යන්නයි (කිවොපැ). ජලය ගලා එන සීඝ්‍රතාවය (විදුලි ශක්තිය) දෙස බලා ඔවුන් තත්පරයක් තුළ ජල ලීටර කොපමණ ප්‍රමාණයක සීඝ්‍රතාවයකින් යුක්තව (කිවො) පරිභෝජනය කරන්නේ ද යන්න කිව හැකිය.

යම් හෙයකින් විදුලි මනු කියවීමට ප්‍රමාද වුවහොත් ඒ හේතුවෙන් පාරිභෝගිකයින්ගේ විදුලි පරිභෝජනය ඊළඟ ඉහළ කාණ්ඩය දක්වා වැඩි වන බවත්, එහෙයින් අසාධාරණ ලෙස සාමාන්‍ය ගාස්තුවට වැඩි ගාස්තුවක් ගෙවීමට සිදුවන බවටත් ඇතැම් ගෘහස්ථ විදුලිබල පාරිභෝගිකයින් අතර දුර්මතයක් පවතී. පහත පැහැදිලි කර දක්වා ඇති පරිදි එම මතය සාවද්‍යවේ.

විදුලි මනුවල සටහන් වන දත්ත අනුව බිල්පත සකස් කිරීමට මනුව කියවීම සඳහා පාරිභෝගික සම්බන්ධීකාරකවරයෙකු සාමාන්‍යයෙන් දින 30 කට වරක් බැගින් අදාල පරිශ්‍රයන් වෙත යෑම අපේක්ෂා කෙරේ. එනමුත් සෑම අවස්ථාවකම එසේ දින 30ක් ගතවන විටම පැමිණීම ප්‍රායෝගිකව සිදුකළ නොහැක්කේය. මේ නිසා පාරිභෝගික සම්බන්ධීකාරකවරුන්ගේ පැමිණීම් අතර දින ගණන අනුව, ඊට අදාලවන පරිදි එක් එක් ගාස්තු කාණ්ඩයේ ඒකක ප්‍රමාණය නියම කර දැක්වෙයි. එනම් බිල්පත සෑදීමේදී මනුව කියවීමට ඔවුන් දින 30කට වඩා ප්‍රමාද වී පැමිණිය ද, ඊට වේලාසනින් පැමිණිය ද, ඒ ඒ ගාස්තු කාණ්ඩවලට අදාල ඒකක ප්‍රමාණය ගණනය කිරීම සිදුවෙයි.

උදාහරණයක් ලෙස මනු කියවීම් දෙකක් අතර පරතරය දින 35ක් වුවහොත්, පළමු ඒකක කාණ්ඩයට සාමාන්‍යයෙන් හිමි ඒකක 30 (30kWh) සීමාව සිට එය 35 (35kWh) දක්වා වැඩි කරනු ඇත. දෙවන කාණ්ඩය ගත්තද එහිද සාමාන්‍ය සීමාව වන ඒකක 60 (60kWh) සිට එය ඒකක 70 (70kWh) දක්වා ඉහළ දැමෙනු ඇත. ‍මේ ආකාරයෙන් දින පරතරයට අනුව හිමි වන ඒකක ප්‍රමාණය ගණනය වන කාණ්ඩ අයක්‍රමය මගින් පාරිභෝගිකයින් හට අවාසියක් සිදුවීම වැළකෙයි. මාසික විදුලි බිල්පත් ගණනයේදී ‍මේ වන විටත් අනුගමනය කෙරෙන සාමාන්‍ය ක්‍රමවේදය මෙයයි.

මේ සඳ මනු කියවීම් අතර දින පරතරවලට අනුව පාරිභෝගිකයින් හට හිමි වන ඒකක සංඛ්‍යාව ලංවිම විසින් පෙරාතුවම ගණනය කර (මුද්‍රණය කර) මනු කියවීමට ඔබේ නිවහනට පැමිණෙන පාරිභෝගික සම්බන්ධීකාරකවරුන් වෙත ලැබීමට සලස්වා ඇත. ඒ මගින් තමන්ගේ පැමිණීම් අතර දින ප්‍රමාණයට හිමි ඒකක ගණනට අනුව මෙන්ම ඒ වන විට පරිභෝජනය කර ඇති ඒකක ගණනට අදාලව අය කළ යුතු නිවැරදි ගාස්තු මොනවාද යන්න පිළිබඳ තොරතුරු සියල්ල පාරිභෝගික සම්බන්ධීකාරකවරුන් සතුව ඇත.

තවද, පාරිභෝගික සම්බන්ධීකාරකවරුන් විසින් සටහන් කරගනු ලබන මනු කියවීම් විස්තර සියල්ලම බිල්පත් සැකසීම සඳහා පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කරන අවස්ථාවේදී, හරි වැරදි බැලීමකට ලක් වන අතර කිසියම් වරදක් සිදුවී තිබුණහොත් එය ඊළඟ බිල්පත සකස් කිරීමේදී ස්වයංක්‍රීයව නිවැරදි වනු ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියේ පවතින බිල්පත් ගණක යන්ත්‍රය භාවිතයෙන් අවශ්‍ය නම් පාරිභෝගිකයන්හට තම බිල්පත්වල නිවැරදිභාවය පරීක්ෂා කර බලාගත හැකිය.