CEB | New Customer

මා හට විදුලි සබඳතාවයක් ලබා ගත හැක්කේ කෙසේද?

ඔබගේ විදුලි සබඳතාවය කිවො 42කට අඩු ගෘහස්ථ හෝ ආගමික අය ක්‍රම යටතේ ගණන් ගැනෙන්නක් නම් ඔබ අනුගමනය කළ යුතු පියවර මෙසේය. (ඔබගේ විදුලි භාවිතය කිවො 42කට වැඩි නම්, කරුණාකර ඔබට අදාල පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයේ වාණිජ ඉංජිනේරුවරයා සම්බන්ධ කරගන්න)

විදුලි සේවා සැපයුමක් ලබා ගැනීම සඳහා ඉටු කළ යුතු පූර්ව අවශ්‍යතාවයන් මොනවා ද?

• ඔබට සැපයුම ලබා දීම සඳහා සේවා රැහැන් තුන්වන පාර්ශවයකට (වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට) අයත් ඉඩමකට ඉහළින් රැගෙන යායුතු වන්නේ නම්, ඒ සඳහා ඉඩම් හිමිකරුගේ ලිඛිත අනුමැතිය ලබාගත යුතුය. ඒ සඳහා විදුලි ඉල්ලුම්පත්‍රය සමග ආකෘතියක් ලබා දෙනු ලැබේ. එවැනි ඉඩම් එකකට වඩා පවතින්නේ නම් එම සෑම ඉඩමක් සඳහාම අදාල ඉඩම් හිමිකරුවන්ගේ අනුමැතිය වෙන් වෙන්ව ලබාගත යුතු වේ. (ඒ සඳහා අප විසින් ලබා දෙන ආකෘතිය අයදුම්කරු විසින් එලෙසම පිටපත් කර භාවිතා කළ යුතුය) එසේ සේවා රැහැන් ඇදීමට අවසර ලබා දෙන අදාල ආකෘතීන් නිසි ලෙස පුරවා ප්‍රදේශයට අදාල ග්‍රාම නිලධාරීවරයා ඉදිරියේ දී අත්සන් කරනු ලැබ අදාල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කරනු ලැබිය යුතුය. මෙසේ තුන්වන පාර්ශවවලට අයත් ඉඩම්වලට ඉහළින් සේවා රැහැන් රැගෙන යාමේදී ඒ සඳහා පූර්ණ වගකීම අයදුම්කරු විසින් දැරිය යුතුය. නීතිවිරෝධී ලේඛන (කූට ලේඛන) ඉදිරිපත් කිරීම හෝ/සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරනු ලැබුවහොත් එය අදාල විදුලි සම්බන්ධතාවය අත්හිටුවීමට හේතුවනු ඇති අතර එවන් අවස්ථාවක සිදුවන කිසිඳු අලාභ හානියකට ලංකා විදුලිබල මණ්ඩලය වගකීමක් දරනු නොලැබේ. තවද, සේවා රැහැන් අදිනු ලබන මාර්ගයේ යම් වෙනසක් සිදුවන්නේ නම් ඊට අදාල ගාස්තු අයදුම්කරු විසින් දැරිය යුතුය.

    • ඔබ (අයදුම්කරු) විසින් සේවා රැහන් ඇදීමට නියමිත මංවර එළිපෙහෙළි කිරීම කර දිය යුතුයි. ඇස්තමේන්තුවට එම පිරිසිදු කිරීමේ කටයුත්ත ඇතුළත් නොවන අතර එහෙයින් ඊට අදාල ගාස්තු ඇතුළත් කර නැත. සේවා සම්බන්ධතාවය ලබා දීම සඳහා ලං.වි.ම නිළධාරීන් පැමිණීමට ප්‍රථමයෙන් එම කටයුත්ත අවසන් කර තිබිය යුතුය.

    • ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර තිබිය යුතු අතර විදුලි රැහැන් ඇදීමේ රෙගුලාසිවලට අනුව (IEE 16) අභ්‍යන්තර රැහැන් ඇදීමේ කටයුතු (ඉන්ටර්නල් වයරින්)/විදුලි සවිකිරීම් (ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටලේෂන්) සිදුකර තිබිය යුතුය. සියලු පේනු තුඩු (ප්ලග් පොයින්ට්ස්) නියමිත පිරිවිතරයන්ට අනුකූලව බිම් පයිප්පයක් (අර්ත් පයිප්) මගින් මිහි ගැන්වුම කර තිබිය යුතුය. මිහිගත කිරීමේ බටයේ විෂ්කම්භය සහ දිග පිළිවෙලින් අවම වශයෙන් අඟල් දෙකක් හා අඩි හයක්වත් විය යුතුය.

    • පැන්නුම් ස්විචයක් (ට්‍රිප් ස්විච්) සහ ප්‍රධාන ස්විචය (මේන් ස්විච්) නියමිත පරිදි සවි කර තිබිය යුතුය.

    • විදුලි මනුව (විදුලි මීටරය) සවි කරන ස්ථානයට විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එය ගොඩනැගිල්ලෙන් පිටත පිහිටා තිබිය යුතු අතර, මනු කියවීම සඳහා පැමිණෙන පාරිභෝගික සම්බන්ධීකාරකවරුන් හට පහසුවෙන් ලඟාවීමට හැකි ස්ථානයක් විය යුතුය. මනුවේ කල් පැවැත්ම සඳහා ඍජු හිරු එළියෙන් සහ වර්ෂාවෙන් ආරක්ෂාවන ආකාරයට සවි කරනු ලැබිය යුතුය.

    • රූපය 1 හි දක්වා ඇති පරිදි විදුලි මනුව සවි කිරීමට නියමිත බිත්තියෙහි බිම් මට්ටමින් අඩි පහක් සහ අඟල් හයක් උඩින් ලී කැබලි සතරක් (4) සවි කිරීම අනිවාර්ය වේ.

    • විදුලි මනුව සවිකරන ස්ථානයට කෙලින් හා ඊට ඉහළින් එල්-යකඩය (එල්-අයන් ලෙස හඳුන්වන) සවි කර තිබිය යුතුය. පොලව මට්ටමේ සිට එල්-යකඩයේ මුදුණට  අවම වශයෙන් උස මීටර 2.8ක් තිබිය යුතුය. ප්‍රධාන මාර්ගයක නම් මීටර 3.7ක් විය යුතුය. එල්-යකඩය ස්ථාපනය කිරීමට අදාල තොරතුරු පහත දක්වා ඇති රූප සටහනෙන් ලබාගත හැකිය.

    • මනුව සවිකරන ස්ථානයේ අමතර වශයෙන් අඩි 1.5ක දිගකින් යුතු අධිධාරා රැහැන් (ලෝඩ් වයර්) අතිරික්තයක් තැබිය යුතුය.


අවශ්‍යකරන ලේඛන මොනවා ද?

නව විදුලි සේවා සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්කරන විටදී ගොඩනැගිල්ලේ හිමිකරු හෝ පදිංචිකරු විසින් පහත සඳහන් ලිපි ලේඛන සහ නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කළ යුතුය.

    • ජාතික හැඳුනුම්පතෙහි/විදේශ ගමන් බලපත්‍රෙයහි ඡායා පිටපතක් හෝ වෙනත් අනන්‍යතාවය ඔප්පු කළ හැකි වලංගු ලේඛනයක්.

    • ඔබගේ විදුලි බිල්පත (විදුලි අයපත) නිකුත් කිරීමේදී ඇතිවිය හැකි අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වාගැනීම සඳහා (හැකිනම්) නව සේවා සම්බන්ධතාවය ලබා ගැනීමට අදහස් කරන ගොඩනැගිල්ලට ආසන්නයේ පවතින ස්ථානයක විදුලි බිල්පතක පිටපතක් අයදුම්පත්‍රයට ඇමිණිය හැකිය.

    • ඉල්ලුම්කරුගේ හිමිකම හෝ පදිංචිය තහවුරු කරගැනීම සඳහා පහත සඳහන් කර ඇති ලේඛනවලින් එකක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.

    • අදාල ස්ථානයේ හිමිකම් ඔප්පුව
    • අදාල ස්ථානයේ බදු ගිවිසුම
    • රාජ්‍ය ආයතනයකින් අවසර දී ඇත්නම් එම අවසර පත්‍රය
    • අනෙකුත් නෛතික බලාත්මකභාවයෙන් යුක්ත ඔප්පු හෝ හිමිකම් ලේඛන.
    • තක්සේරු ගෙවීමේ කුවිතාන්සිය.
    • අදාල ස්ථානය සම්බන්ධයෙන් වෙනත් උපයෝගිතා සැපයුම් ආයතනයක් විසින් නිකුත් කරන ලද බිල්පතක් (වතුර බිල්පත්, දුරකථන බිල්පත් ආදී) 
    • අදාල ස්ථානයේ ලිපිනයට නිකුත් කර ඇති බැංකු ප්‍රකාශයක්.
    • අදාල ස්ථානයේ හිමිකම, පදිංචිය හෝ ඡන්ද හිමි නාමලේඛන හිමිකම් පිළිබඳ අදාල ග්‍රාම නිලධාරීවරයා විසින් නිකුත් කරන ලද සහතිකය.
    • අදාල ස්ථානයේ හිමිකම හෝ පදිංචිය ඔප්පු කළ හැකි, පිළිගත හැකි වෙනත් ලේඛන.
    • නව විදුලි සේවා සබඳතාවය ලබා ගැනීමට අදහස් කරන ස්ථානයේ ලිපිනය සඳහන් වන ජාතික හැඳුනුම්පත්‍රය.
    • පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද අනුකූලතා සහතිකය (CoC)

ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය?

    • නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය සහ අදාල අනෙකුත් ලේඛන ලඟම ඇති පාරිභෝගික සේවා මධ්‍යස්ථානය (සී.එස්.සී) වෙත භාර දෙන්න. නොඑසේ නම් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට යොමු කරන්න.

    • ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කරන ඉල්ලුම්පත්‍රය අදාල ඉල්ලුම්කරු විසින්ම සම්පූර්ණකර ඔහු/ඇය විසින්ම අත්සන් කර ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම්පත්‍රය සඳහා වන ගාස්තු

    • ඉල්ලුම්පත්‍රය නොමිලයේ නිකුත් කරනු ලැබේ.
සතියේ දිනවල පැය 09.00 – පැය 15.00 දක්වා නිකුත් කරනු ලැබේ.

    • ඉල්ලුම්පත්‍ර භාරගන්නා වේලාව
සතියේ දිනවල පැය 09.00 – 15.00 දක්වා භාරගනු ලැබේ.

සේවාව ලබා ගැනීම සඳහා ගාස්තුව

    • ඉල්ලුම්පත්‍රය අදාල ලේඛන සහිතව නිසි ලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කළ පසු, ඇස්තමේන්තුවක් සකස් කෙරෙනු ඇත. එම ඇස්තමේන්තුව සකස් කර අනුමත කළ පසුව අදාල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විසින් ගෙවීම් සඳහා වවුචරයක් නිකුත් කරනු ඇත. ‍ගෙවීම් මහජන බැංකුව හෝ ලංවිම ගෙවීම් කවුලු (පීඕඑස් කවුන්ටර්) මගින් කළ හැකිය. බිල්පත් ගෙවීම් ඇතුළු ඕනෑම ගෙවීමක් ඉතා පහසුවෙන් අදාල ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ (ඒරියා ඉංජිනියර්ස් ඔෆිස්) විවෘතව තිබෙන ලංවිම ගෙවීම් කවුළු (පීඕඑස් කවුන්ටර) මගින් පහසුවෙන් සිදුකළ හැකිය.

    • ඔබ විසින් ලංවිම සමග ගිවිසුමක් අත්සන් කළ යුතු වේ.

    • සේවා සැපයුම සඳහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇත.

ඉල්ලුම්කරුගේ අවධානයට ලක්විය යුතු අනෙක් කරුණු

    • අදාල ලංවිම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා විසින් හෝ ඔහුගේ නියෝජිතයෙකු විසින් අදාල පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනු ඇති අතර, සේවා සැපයුම ලබා දෙනු ලබන්නේ විදුලි සවිකිරීම (ඉලෙක්ට්‍රිකල් ඉන්සටලේෂන්) සඳහා අදාල අනුමැතිය ලබාදීමෙන් පසුව පමණි. අවශ්‍ය පරිදි ප්‍රමිතීන්ට අනුකූලව විදුලි සවිකිරීම් ඇතුළු කටයුතු සිදු කර නොමැති නම් ලං.වි.ම සේවක මහතුන් හෝ කොන්ත්‍රාත්කරුවන් විසින් සේවා සම්බන්ධතාවය ලබා නොදෙනු ඇත. එබඳු අවස්ථාවන්හීදී ඉල්ලුම්කරු විසින් නියමිත ප්‍රමිතීන්ට අනුව අදාල කටයුතු සිදුකර නැවත ලං.වි.ම. වෙත දැනුම් දිය යුතුය.

    • අදාල ස්ථානයට නැවත පැමිණීමට සිදුවන්නේ නම් ඒ සඳහා අනුමත කරන වියදම් හා අනෙකුත් ගාස්තු ඉල්ලුම්කරු විසින් දැරිය යුතු වේ. එමෙන්ම යම් අනතුරුදායක තත්ත්වයක් හඳුනාගතහොත්, සේවා සැපයුම ලබා දීමට අනුමැතිය ලබා දෙන්නේ නැත. ගොඩනැගිල්ල යම් වහා ගිණි ඇවිලිය හැකි ද්‍රව්‍යයක් භාවිතයෙන් (inflammable material) තනා ඇත්නම් සේවා සැපයුම ලබා දෙනු නොලැබේ. එහෙයින් වහළ සඳහා පොල් ඇතු කොළ හෝ ඒ හා සමාන ද්‍රව්‍යයක් යොදා තනා ඇත්නම් සේවා සැපයුම ලබා නොදෙනු ඇත.

    • ලංවිම සේවක මහතුන් හෝ කොන්ත්‍රාත්කරු විසින් විදුලි සේවා සැපයුම ලබා දීම සම්බන්ධයෙන් ඔබට යම් ගැටළුවක් ඇත්නම් අදාල විදුලි අධිකාරීවරයා හෝ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන්න. එමෙන්ම විදුලි අධිකාරීවරයා හෝ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා සඳුදා හා බදාදා පෙරවරුවේ මුනගැසිය හැකිය.

    • සේවා සැපයුම ලබාගෙන මාස තුනක් තුළ ඔබට විදුලි බිල්පත් නොලැබුණි නම් කරුණාකර අදාල ලංවිම ප්‍රාදේශීය කාර්යාලයට ලිඛිතව ඒ පිළිබඳ දැනුම් දෙන්න. නොඑසේ නම් සේවා සැපයුම ලබා දෙන විට ලංවිම විසින් ඔබ වෙත නිකුත් කළ ලේඛන සමග පැමිණෙන්න.

    • ඔබ යම් කර්මාන්තයක් සඳහා තෙකලා විදුලි සැපයුමක් ලබා ගැනීමට අයදුම් කරන්නේ නම් අප විසින් එය ලබා දීමට ඇති හැකියාව පිළිබඳ පරික්ෂා කර බැලිය යුතු බව කාරුණිකව සලකන්න. එහෙයින් විදුලි සැපයුම ලබා දීමට ඇති හැකියාව පිළිබඳ අප විසින් දැනුම් දීමෙන් පසුව පමණක් ඔබ විසින් කර්මාන්තයට අදාල උපකරණ කිසිවක් මිලට ගන්නේ නම් මැනවි.

    • වහල මත සවිකරන සූර්ය බල පද්ධති පැනල (RTSPV) ස්ථාපිත කිරීමට සැලසුම් කරන පාරිභෝගිකයින් සිටී නම්, ඔවුන් එම පද්ධති ස්ථාපිත කිරීමට පෙර ඊ‍ට අදාල අනුමැතිය ලබාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. අනුමැතිය ලබාගැනීම සඳහා මෙම වෙබ් අඩවියේ ඇති CEBCare වෙබ් ඇප් එක භාවිතා කළ හැකිය.