CEB | Knowledge Hub

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ හැඳින්වීමක්

පුනර්ජනනීය බලශක්තිය යනු කුමක් ද?

පුනර්ජනනීය බලශක්තිය යනු හිරු එළිය, සුළඟ, වර්ෂාව, උදම් රළ, භූ උෂ්ණත්වය ආදී, ස්වභාවික ප්‍රභවයන්ගෙන් ලැබෙන්නා වූ බලශක්තියයි. මෙම ප්‍රභවයන් භාවිත කිරීම හේතුවෙන් ක්ෂයවීමට ලක් නොවන්නේ ය. (ස්වභාවිකවම නැවත නැවතත් සපිරෙන)

ගෝලීය බලශක්ති පරිභෝජනයට 16%ක් පමණ බලශක්තිය සැපයෙනු ලැබෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයෙන්ය. (කර්මාන්ත, ප්‍රවාහන, නිවාස, සේවා හා කෘෂිකාර්මික ආදී ක්ෂේත්‍ර සියල්ලම පාහේ ඇතුළත්වන) ඉන් 10%ක් පැමිණෙන්නේ සම්ප්‍රදායික ජෛව ස්කන්ධයන්ගෙන් වන අතර එය ප්‍රධාන වශයෙන් උණුසුම් කිරීම් සඳහා භාවිතා වේ. 3.4%ක ප්‍රමාණයක් ජල විදුලිය වන්නේය. නව පුනර්ජනනීය බලශක්ති (කුඩා ජල විදුලි, නව ජෛව ස්කන්ධ, සුළං, සූර්ය බලශක්තිය, භූ උෂ්නත්වය සහ ජෛව ඉන්ධන) 2.8% පමණ අගයක් ගනී. එමෙන්ම ඒවා ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින්නේ ය. විදුලිබල ක්ෂේත්‍රයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙන දායකත්වය ගත් කල එය 19%ක් පමණ වේ. ගෝලීය විදුලිබල උත්පාදනයෙන් 16%ක් පමණ ජල විදුලි බලයෙන් ලැබෙන අතර, 3% අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙයි..


ජල විදුලිය යනු කුමක් ද?

ජලයේ පවත්නා වූ බලය සැලසුම් සහගතව හසුරුවාගැනීම ඔස්සේ ප්‍රයෝජනයට ගත හැකිය. ජලය වාතයට වඩා 800 ගුණයක ඝනත්වයකින් යුක්ත හෙයින්, සෙමෙන් ගලා යන ජල ධාරාවක් හෝ මධ්‍යම මට්ටමේ මුහුදු රල නැග්මකින් පවා සැලකිය යුතු මට්ටමේ බලශක්තියක් උපදවාගත හැක්කේය.

ජල බලය යනු චලනය වන ජලය මගින් නිර්මාණය වන්නාවූ ශක්තියයි. එය තීරණය වන්නේ ජලයේ උස සහ ගලා යෑමේ වේගයට අනුවය. ජල බලය විවිධ වූ ආකාරවලින් පවතින්නේය,

සුළං විදුලිබලය යනු කුමක් ද?

සුළං බලය උපයෝගී කරගනිමින් ජනනය කරනු ලබන විදුලි බලය සුළං විදුලිබලය නම් වේ. සුළං ටර්බයින ධාවනය කිරීම සඳහා හමන්නා වූ සුළං ප්‍රවාහයන් භාවිතා කළ හැකිය. කිවො 600 පමණ සිට මෙවො 5 පමණ දක්වා වූ ශ්‍රේණිගත පරාසයන් (rated output) අතර වන නවීන සුළං ටර්බයින පවතිනමුත්, වාණිජමය භාවිතය සඳහා සුලභව යොදාගනු ලබන්නේ මෙවො 1.5 – 3.0 අතර ශ්‍රේණිගත ප්‍රතිදානයන් පවතින ටර්බයිනය. යම් සුළං ප්‍රවාහයකින් උපදවාගැනීමට හැකි බලශක්ති ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ සඳහා යොදාගන්නා ටර්බයිනයේ ප්‍රමාණය හා එහි තලයන්වල දිග අනුවය. සැබෑ ලෙසම උත්පාදනය වන බලශක්තිය එහි බ්‍රමකයේ (rotor) පරිමාණයට හා සුළඟේ වේගයේ ඝණයට සමානුපාත වේ. න්‍යායාත්මකව ගත් කල සුළඟේ වේගය දෙගුණ වන විට, එහි බලශක්තිය විභවය අට ගුණයක ප්‍රමාණයකින් වැඩි වේ. (e.g. if the wind speed is twice as high it contains 2 3 = 2 x 2 x 2 = eight times as much energy) වඩාත් ප්‍රභල හා නිරන්තරව හමන්නා වූ සුළඟක් පවත්නා වූ අක්වෙරළ (වෙරළට මදක් දුරින් මුහුදේ පවතින ප්‍රදේශ) සහ ඉහළ උන්නතාංශයක් (high altitude) සහිත පෙදෙස් සුළං විදුලිබල උත්පාදන කලාප (wind farms) පිහිටුවීමට වඩාත් යෝග්‍ය වේ. සාමාන්‍යයෙන් ධාරිතා සාධක 20% - 40% අතර පරාසයක අගයන් ගන්නා අතර, වඩාත් වාසිදායක ප්‍රදේශ එම පරාසයන්හි ඉහළ කෙලවරෙහි අගයන් ගන්නේය.


සූර්ය බලශක්තිය යනු කුමක් ද?

සූර්ය බලශක්තිය යනු සූර්ය විකිරණ (solar radiation) ආකාරයෙන් සූර්යාගෙන් ලබාගන්නා වූ බලයයි. සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලිබල ජනනය කිරීම රඳා පවතින්නේ ප්‍රකාශ වෝල්ටීයතා සහ තාප යන්ත්‍ර (photovoltaics' & heat engines) මතය. සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන භාවිත අතරින් තවත් කිහිපයක් සඳහන් කරන්නේ නම් ඊට, සූර්ය බලය මත පදනම් වූ නිර්මාණ ශිල්පීය ක්‍රම මගින් තෝරාගත් ස්ථාන සිසිල් කිරීම හෝ උණුසුම් කිරීම, දිවා ආලෝකකරණය, ජලය උණුසුම් කිරීම, ආහාර පිසීම, හෝ කාර්මික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ඉහළ උෂ්ණත්ව මට්ටම් ඇතිකර කරගැනීමේ ක්‍රියාවලීන් ආදිය ද ඇතුළත් කළ හැකිය.

 

ජෛව ස්කන්ධ යනු මොනවා ද?

ඩෙන්ඩ්‍රෝ ජෛව ස්කන්ධ (ශාකවලින් ලබාගන්නා ද්‍රව්‍ය) ද පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන්නේ ඒවායේ අන්තර්ගත ශක්තිය ද පැමිණ ඇත්තේ හිරුගෙන් වීම නිසාය. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය හරහා ශාඛයන් විසින් හිරුගෙන් නිකුත් වන ශක්තිය ග්‍රහණය කරගන්නේය. අප එම ශාඛ කොටස් පුළුස්සනු ලබන විට ඒවා තුළ අන්තර්ගතව තිබූ හිරුගෙන් පැමිණි ශක්තිය මුදා හැරීමට ලක් වෙයි.‍ මේ අයුරින් බැලූ විට ජෛව ස්කන්ධ සූර්ය ශක්තිය ගබඩා කරගැනීම සඳහා ස්වභාවික බැටරියක් ලෙස ක්‍රියාත්මක වන බවක් පැවසිය හැකිය.


ශ්‍රී ලංකාවේ පවත්නා වූ තත්ත්වය

ශ්‍රී ලංකාව සිය රටේ බලශක්ති අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා උපයෝගී කරගත හැකි පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන්ගෙන් සමන්විතවීමට තරම් භාග්‍යවන්තවී ඇත. රටේ විදුලිබල උපයෝගීතා ආයතනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනණීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිබලය උත්පාදනය කිරීම 1990 දශකයේ මුල් භාගයේ සිටම ප්‍රවර්ධනය කරන ලද අතර, ඒ සඳහා පුද්ගලික අංශයට අදාල පුහුණු කිරීම්, ධාරිතා වර්ධන කටයුතු, පූර්ව ශක්‍යතා අධ්‍යන කටයුතු සහ සම්පත් ඇගයීම ආදිය ද ඇතුළුව අවශ්‍ය සහාය ලබා දෙන ලද්දේය. 1997 වර්ෂය ආරම්භයේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුඩා පුනර්ජනනීය බලශක්ති උත්පාදකයින්ගෙන් (SSPs) විදුලිබලය මිලදී ගැනීමේ ක්‍රමවේදය නියමානුකූල බවට පත් කර විධිමත් කරන ලද්දේ සම්මත බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම (SPPA) ප්‍රකාශයට පත් කිරීමත් සමගය. එහි වළකාලන ලද පිරිවැය සංකල්පය මත පදනම්ව විදුලිබලය මිලට ගැනීමේ මිල ගණනය කිරීමේ පරිපාටියක් ඇතුලත් විය. එය මෙවො 10ට අඩු ධාරිතාවයකින් යුක්ත විදුලි බලාගාර සියල්ලටම පිරිනමන ලදී. (වළකාලන පිරිවැය සංකල්පය යනු නව බලාගාරයක් තැනීම වෙනුවට තුන්වැනි පාර්ශවයකින් විදුලිය මිලට ගැනීම ඔස්සේ ලංවිම විසින් වළක්වාගන්නා ලද පිරිවැයයි)

ඉන් පසු කාලීනව, අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති තාප විදුලිබල උත්පාදනයේ සිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය විවිධාංගීකරණයට ලක් කිරීමේ කටයුත්තේ ප්‍රතිපත්තියක් වශයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ රජය මගින් හඳුනාගන්නා ලද බැවින් එම ප්‍රතිපත්තිය අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභව (කුඩා ජල විදුලිබල, ජෛව ස්කන්ධ, සුළං ආදී) සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිගැන්වීම් හා ආධාර සපයනු ලැබීය. එමෙන්ම, විදුලිබල උත්පාදනයේදී උපායමාර්ගික අරමුණක් ලෙස විවිධ ඉන්ධන භාවිතය මගින් බලශක්ති සම්පත් විවිධාංගකරණය හා බලශක්ති සුරක්ෂිතතාවය “ජාතික බලශක්ති ප්‍රතිපත්තිය” මගින් 2006 දී හඳුනා ගන්නා ලදී. ඒ අනුව එම උපායමාර්ගික අරමුණේ කොටසක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය හඳුනාගන්නා ලදී. මෙම අරමුණ ඇතිව, ඉහත සඳහන් කරුණු සැළකිල්ලට ගනිමින් එ‌තෙක් පැවති “වළකාලන ලද පිරිවැය මත පදනම් වූ අයක්‍රමය” (avoided cost based tarrif) වෙනුවට, 2007 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි පිරිවැය පදනම්කරගත්, ඒ ඒ තාක්‍ෂණයට විශේෂී, ත්‍රිත්ව ස්ථර අයක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය පිළිබඳ වැඩි විස්තර සඳහා සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය බැලිය හැකිය.