CEB


ලංවිම මාර්ගගත සේවා දියත් කිරීම


ලංකා විදුලිබල මණ්ඩලය සිය නිල වෙබ් අඩවිය ඔස්සේ සපයනු ලබන මාර්ගගත සේවා අතරට එක් කරන ලද නව CEB Care Web Portal සේවාවන් නිල වශයෙන් දියත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා ලංවිම මූලස්ථාන ගොඩනැගිල්ලේ දී පැවැත්විණ.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස විදුලිබල අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා සහ සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමා එක් විය. තවද, ලංවිම සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා, ලංවිම උප සභාපති එන්.එස්. ඉලංගකෝන් මහතා, ලංවිම සාමාන්‍යාධිකාරී එන්.ඩබ්.කේ.හේරත් මහත්මිය ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාවට සහභාගී විය.

CEB Care Web Portal මොඩියුලය මගින් මෙම සේවාවන් හඳුන්වාදීමත් සමග ලංවිම මාර්ගගත සේවා භාවිතයෙන් නව විදුලි සබඳතා ලබාගැනීමට අයදුම් කිරීම, විදුලි කණු විතැන් කිරීම, විදුලි මනු විතැන් කිරීම, විදුලි මනු ආවරණ මාරු කිරීම, විදුලි සබඳතා විතැන් කිරීම ආදී සේවා රැසක් ලබා ගැනීම සඳහා ඉතා පහසුවෙන් ඉල්ලුම් කිරීමේ හැකියාව මහජනතාව වෙත ලැබේ. 

ඊට අමතරව විදුලි බිල්පත් ගෙවීමේ පහසුකම, විදුලි බිඳවැටීම් දැනුම් දීමේ පහසුකම, පෙර සැලසුම් කරන ලද විදුලි අත්හිටුවීම් පිළිබඳ විස්තර ඇතුළත් කාල සටහන, විදුලි බිඳවැටුම් තත්කාලීනව නිරූපණය කෙරෙන සිතියම් සේවාව, කෙටි පණිවිඩ සේවාව, විදුලි බිල්පත් ගණනය කරගැනීමේ මෙවලම් ඇතුළු සේවා රැසක් ලංවිම වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

අදාළ පුවත්