CEB | Business With CEB


ලංකා විදුලිබල මණ්ඩලය, සොබාදනවි සමාගම හා ලාංකීය බැංකු සමාගම් නවයක් අතර කෙරවලපිටිය “සොබාදනවි” ඒකාබද්ධ චක්‍රීය විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සැපයීම සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් තැබේ


බලශක්ති ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය සහ තාක්ෂණය ආකර්ෂණය කරගැනීමේදී දේශීය සමාගම් දිරිගැන්වීමේ වත්මන් ජනාධිපතිවරයාගේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙනියමින් කෙරවලපිටිය “සොබාදනවි” ඒකාබද්ධ චක්‍රීය විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සැපයීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, සොබාදනවි සමාගම හා ලාංකීය බැංකු සමාගම් නවයක් (හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, NDB බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, කාර්ගිල්ස් බැංකුව හා ලංකා බැංකුව) අතර ගිවිසුමකට (Direct Agreement) අත්සන් තැබීම ඊයේ (ඔක්තෝබර් 10) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානයේදී සිදුකෙරිණ.

සොබාදනවි ස්වභාවික වායු (LNG) බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2025 වසරේ පළමු කාර්තුවේ දී නිම කිරීමට අපේක්ෂා කෙරේ. මෙම බලාගාරය පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වන LNG භාවිතය මගින් ධාවනය වීමට නියමිත අතර හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කර ශ්‍රී ලංකාව ළඟාවීමට අපේක්ෂා කරන පාරිසරික ඉලක්ක කරා ළඟා වීමට දායක වනු ඇත.

අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක්, අවම පිරිවැයක් යටතේ මෙරට පාරිභෝගික ජනතාවට සපයමින්, පද්ධතිය ස්ථාවරව තබා ගනිමින් පුනර්ජනනීය විදුලිය එක්කිරීමේ හැකියාව වැඩි දියුණු කරමින්, ඉදිවන මෙම බලාගාරය සඳහා විදේශිය ණය පහසුකම් ලබා ගැනීමේ අපහසුතා හමුවේ දේශීය වශයෙන් ණය පහසුකම් සැපයීම වෙනුවෙන් දේශීය බැංකු සමූහය වෙත ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රණාමය පුදකරන්නෙමු. සොබාදනවි සමාගම හා දේශිය බැංකු සමූහය මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 65කට අධික මුදලක් ආයෝජනය කරනු ලබයි.

අදාළ පුවත්