CEB


ලංවිම නව්‍යකරණ තරඟාවලිය 2020


ලංකා විදුලිබල මණ්ඩලයේ අභිවෘද්ධිය උදෙසා නව්‍යකරණයට මුල පිරීමට දායක වන සේවකයින් දිරි ගැන්වීම අරමුණු කරගනිමින් පවත්වනු ලබන නව්‍යකරණ තරඟාවලියේ 2020 වර්ෂයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී රජයේ සෞඛ්‍යාරක්ෂක උපදෙස්වලට අනුකූලව උත්කර්ෂවත් ලෙස පැවැත්වින.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදුලිබල අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා සහභාගී වූ අතර, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු  විජිත හේරත් මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන්. ඩබ්. කුමුදිනී හේරත් මහත්මිය ඇතුළු ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මේ සඳහා සහභාගී විය.

2020 නව්‍යකරණ තරඟාවලියේ හොඳම කණ්ඩායම් ඉදිරිපත් කිරීම් සඳහා රජත සම්මාන දෙකක් දිනාගැනීමට කණ්ඩායම් දෙකක් සමත් විය. ඉංජිනේරු සී.බී.වික්‍රමසිංහ සහ ආචාර්ය කපිල බණ්ඩාර යන මහත්වරු එක් රජත සම්මානයක් දිනාගත් අතර, බී.එච්.වනිගසිංහ, ජී.ආර්.පී. චන්දිම හා සී.යූ. බණ්ඩාර යන මහත්වරුන් අනෙක් රජත සම්මානය දිනාගන්නා ලදී. හොඳම කණ්ඩායම් ඉදිරිපත් කිරීම් සඳහා ලෝකඩ සම්මානයක් සහ කුසලතා සම්මාන 6ක් ද පිරිනැමුණු අතර, සහභාගීත්වය අගයමින් ඒ සඳහා සහතිකපත්‍ර 15ක් පසුව පිරිනැමීමට ද නියමිතය.

2020  නව්‍යකරණ තරඟාවලියේ හොඳම තනි පුද්ගල ඉදිරිපත් කිරීම් සඳහා ලෝකඩ සම්මාන දෙකක් පිරිනැමුණ අතර, එස්.එම්. නිමල් සමරකෝන් සහ එච්.ආර්.නිමලසූරිය යන සේවක මහතුන් එම සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ. හොඳම තනි පුද්ගල ඉදිරිපත් කිරීම් සඳහා කුසලතා සම්මාන 8ක් ද පිරිනැමුණු අතර, තරඟය සඳහා සහභාගීත්වය අගයමින් සහතිකපත්‍ර 11ක් පසුව පිරිනැමීමට කටයුතු යොදා ඇත.

ජයග්‍රාහී සේවක මහත්ම මහත්මීන් වෙත මුදල් ත්‍යාග පිරිනැමීම ත්‍යාග ප්‍රධානෝත්සවයේදී සිදු වූ අතර, ඔවුන්ගේ සේවා ස්ථානයන් වෙත ද මුදල් ත්‍යාග පසුව පිරිනැමීම සඳහා කටයුතු යොදා ඇත.

 

අදාළ පුවත්